Saturday, July 18, 2009

Personas ඇඩෝනයෙන් සැරසුණු සිංහල ගිනි නරියා....

මුලින්ම ලියන්න හිතුනෙ සිංහල ගිනි නරියා ගැන උනත් පස්සෙ එයාට අන්දපු ඇඳුම්වල ලස්සන දැක්කම හිතුන 'ප(ර්)සනාස්' ගැනත් ලියන්න කියල.

ගොඩක් කාලෙක ඉඳන් පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ අපේ ඈයො මහන්සි උනා සිංහලය එහි නොමළ, ජීවමාන බසක් බවට පත් කරන්න. ඒ වටිනා කියන උත්සාහයන්හි ප්‍රතිඵල තමයි මේ අද අපි දකින, භාවිතා කරන 'සිංහල යුනිකෝඩ්'. ඒ නිසාම දැන් ජපානයේ, ඇමරිකාවෙ ඉගෙන ගන්න ගියපු මගෙ යාලුවො 'ස්කයිප්' වලදි, 'ෆේස්බුක්' වලදි මාත් එක්ක චැට් කරන්නෙ විජේසේකර යතුරුපුවරුවෙන්. (මට ඉතින් සිංහල ටයිපින් තවම හුරු නැති නිසා මම යුනිකෝඩ් කන්ව(ර්)ටරය පාවිච්චි කරනව ). කොහොම උනත් අපිට වගෙම ඒ අයටත් දැන් ගොඩක් ආඩම්බර ඇති පිටරටකදි උනත් තමන්ගෙ මව් භාෂාව සජීවීව භාවිතා කරන්න පුලුවන් වීම ගැන.

මේ අතරෙ තමයි අපේ ආදරණීය නරි පැංචගෙ 3.5 සංස්කරණය සිංහලෙන් තියෙනව කියල දැක්කෙ. මෙගාබයිට් 7.58 යි. ඩයලොග් බට්ටටයි 'අයි.ඩී.එම්' වලටයි පින් සිද්ද වෙන්න විනාඩි දෙකක්වත් ගියෙ නෑ. ඉතින් ඔන්න install....ආහ්...අළුත් විදියට කියනව නම් ස්ථාපනය කළා.

File, Edit, View, History, Bookmarks, Tools, Help වෙනුවට දැන් තියෙන්නෙ ගොනු, සැකසුම්, දසුන්, අතීතය, පිටු සලකුණු, මෙවලම් සහ උදව්. වෙබ් පිටු load වෙනව වෙනුවට දැන් පුරණය වෙනව. මොකක් හරි වෙබ් පිටුවකට යන්න අණ දුන්නම නරිපැංච දැන් කරන්නෙ එම පිටුව හා සම්බන්ධ වෙමින්.....එය සඳහා රැඳෙමින්....එය වෙතින් දත්ත මාරු කරමින් සිට...අවසන් වූ පසු, 'කළා' යැයි ප්‍රකාශ කිරීම. හොඳයි නේද අපේම භාෂාවෙන් වැඩ පෙන්නන මේ බ්‍රව්සරය???

ඔහොම සැරිසරණ අතරෙ දැක්ක අපේ මේ ගිනි නරියට ඇඳුම් අන්දවන්නත් පුලුවන් බව. තේරෙන භාෂාවෙන් කියනව නම් Add-on එකක් පාවිච්චි කරල browser එකේ skin එක මාරු කරන්න පුලුවන් කියන එක. අළුත් අත්දැකීමක් මට නම්. ස්ථාපනය කරල බැලුව....ඇත්තටම ලස්සනයි. ගොඩක් මාදිලිත් තියෙනව. මේ ඇඩෝනයේ නම 'ප(ර්)සනාස්' [Personas].

මේක කියවපු ඔයාලත් කැමති නම් සිංහල ගිනි නරියට 'ප(ර්)සනාස්' ස්ථාපනය කරල මේ වෙනස අත්විඳින්න....

මෙන්න අදාල සබැඳුම්.
සිංහල ගිනි නරියා
ප(ර්)සනාස් ඇඩෝනය

මුල් ම වදන් පෙළ......

හා හා පුරා කියල ඔන්න සිංහල බ්ලොග්කරණයට මමත් එකතු උනා. බ්ලොග් ලිවීම ගැන අහල තිබ්බත් මුලින්ම ඒ ගැන උනන්දුවක් ආවෙ ෂෙහාන් මෙන්ඩිස් කියන මගෙ මිතුර හදපු CYBERSPACE කියන බ්ලොග් පිටුවෙ අඩු පාඩු බලන්න කියල මට කියපු වෙලාවෙ. ඒත් ඒ අදහස ක්‍රියාවට නංවන්න හිත හිතා වැනි වැනි හිටපු දවසක තමයි 'දුකා' සහෝදරයගෙ "ගායකයෙකු හෝ ගායිකාවකගේ අගය/වටිනාකම මැනිය හැක්කේ......" කියන පෝස්ට් එක දැක්කෙ.

ඒකට අදසක් දාල පිළිතුරු බලාගෙන ඉන්න අතරෙ අනික් ගොඩක් දෙනෙක්ගෙ පෝස්ට්ස් කියෙව්ව මොකක්ද ඇත්තටම මේ බ්ලොග් ලියනව කියල කියන්නෙ කියල දැන ගන්න. නම් වශයෙන් සඳහන් කරන්න අමාරු නිසා හැමෝටම ස්තුති කරනව පොදුවෙ මම මේ වෙලාවෙ ඒ හැම දේකටම.

ඊළඟට කැමතියි මම් මතක් කරන්න මගෙ තවත් මිතුරෙක් වෙන සුමුදු හසල ව. ඔහු තමයි මට මුළින්ම XP සඳහා නිවැරදි unicode මෘදුකාංගයට link එක දුන්නෙ. ඔහු නොවන්නට මේ කිසිම පෝස්ට් එකක් මම නොකියවන්නත් තිබුන මොකද ඒ වෙනකොටත් මම සිංහල අකුරු වල අවුල නිසා හොඳටම හෙම්බත් වෙලා හිටපු නිසා.

කොහොම හරි ඔන්න වාහනේ පණ ගන්වගෙන පාරට දාගත්ත. දැන් ඉතින් හිමින් සැරේ යන්නයි තියෙන්නෙ. මෙහි තියෙන වැරදි අඩු පාඩුකම් පෙන්නල දීල හොඳ යමක් කරන්න මට උදව් කරන්න කියල අවසාන වශයෙන් හැමෝගෙන් ම බොහොම ආදරයෙන් ඉල්ලනව.